Thursday, May 28, 2020

චිත්‍ර කලාව - අපේ ශිල්පීන්

විෂය -  චිත්‍ර.
පාඩම - අපේ ශිල්පීන් .
ගුරු භවතා -ටී.කේ.නුවන් ප්‍රසාද් බුද්ධික.
දිනය     -  2020.05.28
වේලාව - පෙ .ව.8.00 - පෙ.ව.9.00
.....................................................................................................

ආයුබෝවන් !

අද චිත්‍ර පාඩමේ තවත් ශිල්පියෙකු පිළිබඳව අධ්‍යනය කරමු.

එච් ඒ  කරුණාරත්න මහතා

මෙතුමා වියුක්ත ශෛලියේ සිත්තරෙකු ලෙස කැපී පෙනෙයි.1929 අප්‍රේල් 20 වන දින හොරණ බණ්ඩාරගම උපතලබා ඇත.
  මෙතුමා 1952-1958,කාලයේ රජයේ ලලිතකලායතනයට බැඳී චිත්‍ර කලාව හදාරා ඇත.වැඩිදුර අධ්‍යාපනය සඳහා 1959 ජපානයේ ටෝකියෝ ජාතික විශ්වවිද්‍යාලයට හා 1965 ඇමරිකාවේ ප්‍රැට ආයතනයේ චිත්‍ර හදාරා ඇත.1975 දී රජයේ සෞන්දර්ය අධ්‍යන ආයතනයේ කතිකාචාර්යවරයෙකු ලෙසසේවයට එක්වේ. සෞන්දර්ය ආයතනය තුල චිත්‍රයේ තේමාව වෙනස් කල යුගයක් ලෙසමේ යුගය  දැක්විය හැක. 
  මෙතුමාගේ නිර්මාණ අතර සඳපායා,නිවන සිතුවම් පෙල,රිද්ම යන නිර්මාණ විශේෂ වේ."රිද්ම" ,ජපානයේ ෆුකෝතා කෞතුකාගාරයේ ප්‍රදර්ශනය කෙරේ.පිරිනිවන ,බුදුන්ගේ දුෂ්කර ක්‍රියාව,වැනි නිර්මාණ තුලින් නව ාපරදිග කලා සම්ප්‍රදායක් හඳුන්වා දී ඇත.ග්‍රැෆික් ,මූර්ති,මුද්‍රණ  වැනි පැතිරුණු වපසරියක දක්ෂතාවය දක්වා ඇත.මෙතුමා නිර්මාණ තුල මිශ්‍ර මාධ්‍ය යොදා ගැනීම දැකිය හැක.රෙදි කැබලි,යකඩ ,කම්බි,වර්ණ කඩදාසි වැනිඉවතලන දේ නිර්මාණ වෙනුවෙන් භාවිතා වේ.තවද කැන්වසය කපා / පුළුස්සා නිර්මාණ තර ඇත.
1987 දී කලාපති ,1994 දී කලාශූරී, 1996දී විශ්ව ප්‍රසාදිනී,1998 බුන්කා  යන සම්මාන මගන් ඇගයීමට ලක්කර ඇත.

අපි බලමු එතුමාගේ නිර්මාණ 2ක්

1 ජීවිතයේ උනුසුම.

මිශ්‍ර මාධ්‍ය හා මිශ්‍ර තාක්ෂණික මැදිහත්වීම් යොදා ගනිමින් කරන ලද උච්ච නූතනවාදී චිත්‍රයක් ලෙස දැක්විය හැක.සංස්ලේශනාත්මක ඝනිකවාදයේ කලාත්මක උපක්‍රම හා ඇමරිකාවේ වියුක්ත ප්‍රකාශ්‍රණවාදී චිත්‍ර කලාවේ   තාක්ෂණික ප්‍රයෝග අනුසාරයෙන්නිමකර ඇත.කොලාඡ් හා තීන්ත වක්කරණ ක්‍රමය යොදාගෙන ඇත.




2 නම් නොකල මූර්තිය.

මෙ⁣ම මූර්තිය සංස්ලේශනාත්ම කඝනිකවාදයේ ආභාසය ලබා ඇත.දකුණු ආසියාවේරූපකාර්ත මත පිහිටමින් මූර්තිය ගොඩනඟා ඇත අබලි ද්‍රව්‍ය එකලස්කරීම තුලින්මූර්තිය ගොඩනඟා ඇත.



අපි අදට පාඩම මෙතැනින් අවසන් කරමු.

සියලුම දෙනාට තෙරුවන් සරණයි!


Sunday, May 24, 2020

චිත්‍ර කලාව - අපේ ශිල්පීන්

විෂය -  චිත්‍ර.
පාඩම - අපේ ශිල්පීන් .
ගුරු භවතා -ටී.කේ.නුවන් ප්‍රසාද් බුද්ධික.
දිනය     -  2020.05.24
වේලාව - පෙ .ව.8.00 - පෙ.ව.10.00
...........................................................................................

ආයුබෝවන්!

අපි තවත් ශිල්පියෙකු පිළිබඳව අද කතා කරමු.

තිස්ස රණසිංහ

ලක්දිව බිහිවූ සුවිශේෂී මූර්ති ශිල්පියෙකුලෙස තිස්ස රණසිංහ මහතා හැඳින්වීමට හැකිය යුරෝපීය නූතනවාදී කලාවේ ප්‍රයෝග හා තාක්ෂණික භාවිතා ශ්‍රී ලාංකීය නූතන මූර්ති සමඟ බද්ධ කල පුරෝගාමියා තිස්ස රණසිංහ මහතාය.

අපි එතුමාගේ පුද්ගලික තොරතුරු ටිකක් බලමු 1925 මැයිමස 09 වන දින සඳලංකාවෙ යෝගියානේඋපත ලැබීය.මුල්ම පාසල යෝගියානේ සිංහල පාසලයි පසුව මීගමුව හරිස්චන්ද්‍ර විද්‍යාලයටත් පසුව කොළඹ රාජකීය විදුහලටත් අධ්‍යාපනය සඳහා ඇතුලත්ව ඇත.ලන්ඩනයේ වෙල්සි කලා පීඨයට  ඇතුලත්ව තව දුරටත් අධ්‍යාපනය ලබාගෙන ඇත. සරසවි සම්මානය මෙතුමාගේ විශිෂ්ට නිර්මාණයකි.මීට අමතරව පැරණි පාර්ලිමේන්තුවේ ඩී එස්  සේනානායක,එස් ඩබ් ආර් ඩී  බණ්ඩාරනායක ,සර් ජෝන් කොතලාවල,ඩඩිලි සේනානායක,කර්නල් ඕල්කට්,මුහන්දිරම් සමරවීර,අයිරාංගනී සේරසිංහ,ට්‍රිලීෂියා ගුණවර්ධන,උඩුකය ආදී පිලිරූ මෙන්ම කොළඹ රාජකීය විදුහලේ නව රඟහලේ අපේනාට්‍ය වංශය නිරූපනය කරනකැටයම එතුමාගේ නිර්මාණ වේ .කලාසූරී සම්මානයෙන් මෙන්ම සෞන්දර්ය විශ්ව විද්‍යාලයේ ආචාර්ය උපාධියෙන්ද පිදුම් ලබා ඇත.

එතුමාගේ නිර්මාණ 2ක් පිළිබඳව කෙටියෙන් අවධානය යොමු කරමු.

1 දුෂ්කර ක්‍රියාව

භාවනායෝගී දුෂ්කර ක්‍රියාවේ යෙදෙනබෝසතුන් සිහිගන්වයි.ලෝකඩ වාත්තු ක්‍රමය උපයෝගී කරගෙන මෙම නිර්මාණය කර ඇත.යුරෝපීය නූතනවාදී මූර්ති කලාවේ භාෂාව තුලින් දකුණු ආසියාතිකආගමික තේමාවක් ඉදිරිපත් කිරීමට යොදාගෙන ඇත.රළු වයනය  ස්වභාවිකත්වය බැහැර කිරීමශරීර අංග අතිශෝක්තියට නැඟීම මෙහි දැකිය හැකි විශේෂ ලක්ෂණ වේ.




2.මහීෂගේ මරණය.

හින්දු ආගමිකතේමාවක් වන සුර අසුර යුද්ධයේ සිද්ධියක් මෙම මූර්තියට වස්තු විශය වී ඇත.මීහරකෙකුගෙ ස්වරූපය දරණ මහීෂනම් අසුරයා පරාජයට පත්කරන ආකාරය මින් නිරූපනය වේ.වියුක්ත බව හා නිරූපනාත්මක බවඑකට එක් කර මෙම මූර්තිය නිම කර ඇත.එනම් නූතනවාදී කලා ප්‍රයෝග වල අන්ත 2එක්ව යොදාගෙන ඇත.සරළකරණය,වියුක්තකරණය,හා අවමකරණය වැනි නූතනවාදී භාෂා ලක්ෂණ මෙහි අන්තර්ගතය.




මේ පිළිබඳව තවත් තොරතුරු එක්රැස් කරන්න. අදට පාඩම මෙතනින් අවසන් කරමු. 

සියලුම දෙනාට තෙරුවන් සරණයි!

Saturday, May 23, 2020

චිත්‍ර කලාව - අපේ ශිල්පීන්

විෂය -  චිත්‍ර.
පාඩම - අපේ ශිල්පීන් .
ගුරු භවතා -ටී.කේ.නුවන් ප්‍රසාද් බුද්ධික.
දිනය     -  2020.05.23
වේලාව - පෙ .ව.8.00 - පෙ.ව.10.00
.............................................................................................

ආයුබෝවන් !

චිත්‍රපාඩමට දැන් සම්බන්ධ වෙමු.

ස්ටැන්ලි අබේසිංහ මහතාගේ අනෙක් තවත් නිර්මාණයක් පිළිබඳව අපි අද බලමු.


තාරුණ්‍ය හා බෙලහීනත්වය

ස්ටැන්ලි අබේසිංහ මහතා තම නිර්මාණය තුලින් තම අදහස ප්‍රකාශණය කිරීමේදී නූතනවාදී කලාවේ ස්වභාවිකත්වය විකෘතිකර ප්‍රකාශනාත්මක බව මතුකිරීමේ ක්‍රමවේදය අනුගමනය කර ඇත.

 පසුබිම හා පෙරබිම පිළිබඳව වූ ශාස්ත්‍රාලයීය යථාර්ථවාදී කලාවේ ලක්ෂණ මෙහිදී බැහැර කර ඇත.

මානවයාගේ ජීවිතයේ අවස්ථා 2ක් සන්සන්දනාත්මකව  කතා කරන මෙහි ප්‍රමුඛත්වය එම රූප2ට ලබා දී ඇති අතර අවකාශය තුල දක්වා ඇති හැඩතලවල නිශ්චිත බව  සිතුවම තුල වැදගත් ස්ථානයක් ගෙන නැත.

මේ සඳහා උපස්තිථිවාදී හා පශ්චාත් උපස්තිථිවාදී කලාවේ    මෙන්ම ජර්මානු ප්‍රකාශණවාදී කලාවන්ගේ ආභාශය ලබා ඇත.

සිතුවම පුරා වර්ණ භාවිතා කිරීම ගත්කල මානව රූප පසුබිමෙන් ප්‍රධාන වශයෙන් වෙන් කිරීමේ උත්සහයක් දැකිය හැකිය.

ජීවිතයේ අනියත බව දැක්වීමට වර්ණ වලින් ලැබී ඇති මෙහෙය ඉතාමත් විශාලය.මානව රූපවල දැක්වෙන හැඟීම් ප්‍රකාශණයද නිර්මාණය සඳහා සුවිශේෂි දායකත්වයන් ලබාදී ඇත.

විවිධ නිර්මාණ, විවිධ කලා ආභාශයන් ගැඹුරින් අධ්‍යනය කිරීම හා එහි පන්නරයෙන් තම ශෛලියක් ගොඩනැඟිය හැකිබව ඒ අත්දැකීම්  තුලින් විශිෂ්ට නිර්මාණයක් ගොඩනැඟිය හැකි බවට කදිම නිදසුනකි මේ සිතුවම.

අපි මීලඟට තවත් නර්මාණකරුවෙක් පිළිබඳව අධ්‍යනය කරමු 

එ් මාර්ක් මහතා

මෙතුමා ශ්‍රී ලංකාවේ නූතන කලා අධ්‍යාපන කේෂ්ත්‍රයේ පුරෝගාමී ශිල්පියෙකි.
 චිත්‍රකලාවේ උන්නතිය උදෙසා විවිධ සංවිධාන ගොඩනැඟීමට දායකත්වය දැක්වූ මෙතුමා නූතනවාදී කලාවේ ආභාසය ලබා  නිර්මාණකරණයේ යෙදුණු ශිල්පියෙකි.
අපි එතුමාගේ නිර්මාණ 2ක් පිළිබඳව අධ්‍යනය කරමු.

 "නම් නොකල " Untitled



මේ නිර්මාණය නම් කර නොමැත.මෙය මිශ්‍ර මාධ්‍ය භාවිතා කර නිර්මාණය කර ඇත.
ගරාවැටෙන බිත්ති2 ක් හා ඊට මැදිවූ මුහුණු නිර්මාණය සඳහා විශය වී ඇත මේ සඳහා ඝනිකවාදී කලාවේ ආභාසය ලැබී ඇත.

ඝනිකවාදී කලාවේ ප්‍රධාන පිළිගැනීමක් වන රූප විකෘතිකරණයට ලක් කිරීම මෙහි දැකිය හැකි සුවිශේෂී ලක්ෂණයකි.එමෙන්ම නිර්මාණයේ ව්‍යුක්තකරණ ලක්ෂණද දැකිය හැකිය.

නිර්මාණයක් තුලින් බොහෝ දේ ප්‍රේක්ෂකයාට ලබා ගැනීමටත් විවිධ භාවයන් තුලින් තම අත්දැකීම් විඳීමටත් මෙවැනි නිර්මාණ තුලින් අවකාශය ලබා දී තිබෙනවා.

අපි තවත් නිර්මාණයක් බලමු.




ඒ මාර්ක්  ශිල්පියාගේ මූරති අතර සුවිශේෂි මූර්තියක් ලෙස මෙය දැක්විය හැක.

ඉදිරි ගාත් ඔසවාගෙන පිටුපස ගාත් වලින් සිටගෙන  සිටින බල්ලන් දෙදෙනකු හා මිනිසෙකු නිර්මාණයේ දැක්වේ.බල්ලන් දෙදෙනා මිනිසාට වඩා විශාලව දක්වා ඇත.මෙහි දැක්වෙන්නේ එතුමාටම ආවේනික වූ මූර්ති නිර්මාණ ශිල්පී ක්‍රමයකට මෙය නිර්මාණය කර ඇත.

නූතන කලා භාවිතය සහිත මෙම නිර්මාණය ඝනිකවාදී කලා ලක්ෂණ මෙන්ම හෙන්ඩ්‍රි මුවර් ශිල්පියාගේ  මූර්ති නිර්මාණවල ලක්ෂණ මේ සඳහා දායක කරගෙන ඇත.

මේ සඳහා භාවිතා එක්රැස් කරගත් භාණ්ඩ හෙවත් found object උපයෝගී කරගෙන ඇත. එනම් ඉවතලන ප්ලාස්ටික් බෝතල් මෙම නිර්මාණයට යොදාගෙන ඇත.
ප්ලාස්ටික් බෝතල්වල දිගටි හා  විවර සහිත හැඩ රිද්මයානුකූලව හා සමබරව අවකාශය සමඟ හාවිතා කර ඇති අතර ඉදිරියට නෙරා ගිය හා ඇතුලතට නෙරාගිය කොටස් මතුකරමින් මෙම නිර්මාණය ඉදිරිපත් කර ඇත.විස්තරාත්මක බව අඩු සරළ හැඩ සමඟඇති කරන සරළ ප්‍රකාශනය මෙම කෘතියේ දක්නට ලැබෙන සුවිශේෂී ලක්ෂණයකි.
කලා නිර්මාණයක් සඳහා අපට අප අවට ඇති ද්‍රව්‍ය භාවිතා කිරීමට ඇති හැකියාවත් ඒ සඳහා අවශ්‍ය වන්නේ නිර්මාණාත්මක චින්තනයකි.

එසේනම් අදට පාඩම මෙතනින් අවසන් කරමු.

 සියලුම දෙනාට තෙරුවන් සරණයි!

Friday, May 22, 2020

චිත්‍ර කලාව - අපේ ශිල්පීන්

විෂය -  චිත්‍ර.
පාඩම - අපේ ශිල්පීන් .
ගුරු භවතා -ටී.කේ.නුවන් ප්‍රසාද් බුද්ධික.
දිනය     -  2020.05.22
වේලාව - පෙ .ව.8.00 - පෙ.ව.10.00
.................................................................................................

ආයුබෝවන් සුබ දවසක්!

අද චිත්‍ර පාඩමේ ඉතිරි කොටස.


අපි කතා කරමින් සිටියේ ස්ටැන්ලි අබෙිසිංහ මහතා පිළිබඳව අපි අද බලමු එතුමාගෙ නිර්මාණ 2ක් පිළිබඳව

 "කිඳුරියගෙ නැටුම" සිතුවම

ස්වභාවික පරිසරයේ සුන්දරත්වය පිළිබඳව කියවෙන අපූරු නිර්මාණයකි. දිය ඇල්ලක් අසල ගල්තලාවක නර්තනයේ යෙදෙන කිඳුරියක් මුල් කරගෙන ඇත.

විවිධ සම්ප්‍රදායන් කිහිපයක ලක්ෂණ ගොනුකරගනිමින් මෙම නිර්මාණය කර ඇත
දේශීය සාම්ප්‍රදායික කලාවේ ලක්ෂණ  යුරෝපීයනූතනවාදී කලා ලක්ෂණ වන   පශ්චාත් උපස්තිථිවාදී කලා ලක්ෂණ හා ෆාවේවාදී (Fauvism)යන ලක්ෂණ මෙහිදී එක්වී ඇත.

ස්වභාවික පරිසරයේ සංකීර්ණ  කරුණු ඉතාමත් සරළ ලෙස මෙහි දක්වාඇත.

කිඳුරියගෙ ශරීරය නිර්මාණය කිරීමේදී සාම්ප්‍රදායික කලාවේ ලක්ෂණ එක් කර ඇත නාරී දේහයක ඇති සාහිත්‍යයේ කියැවෙන සිහින් ඉඟ,පුළුල් උකුල,පූර්ණ පයොධර ආදී ලක්ෂණ ද අප සාම්ප්‍රදායික කලාවේ එන ආභරණ  සළුපිළි ආදිය මෙහි දැක්වීම තුලින් සාම්ප්‍රදායික කලාවේ  ආභාසය ලබා ගත් බවට සධකයන් වේ තවද  සාම්ප්‍රදායික කලාවේ කින්නරයන් දැක්වීමිදී භාවිතා කල උපක්‍රම මෙහිද දක්නට  ලැබේ.

දිය ඇල්ලේ පිහිනන මසුන් කුඩා ගසේ වූ මල තවදුරටත් මහනුවර සම්ප්‍රදාය සිහිගන්වයි.
 සම්භාව්‍ය ශාස්ත්‍රාලයීය කලා ලක්ෂණ බැහැරකර මෙය නිර්මාණය කර ඇත ඇසට පෙනෙනස්වභාවික ලක්ෂණ වෙනස්කර ඇත.පර්යාවලෝකන උපක්‍රම බැහැර කර ඇත.
අපි ඊලඟට එතුමාගේ තවත් නිර්මාණයක් වන තාරුණ්‍ය හා බෙලහීනත්වය සිතුවම පිළිබඳව කතා කරමු.
අදට පාඩම අවසන් කරමු.

 සියලුම දෙනාට තෙරුවන් සරණයි !













Thursday, May 21, 2020

චිත්‍ර කලාව - අපේ ශිල්පීන්

විෂය -  චිත්‍ර.
පාඩම - අපේ ශිල්පීන් .
ගුරු භවතා -ටී.කේ.නුවන් ප්‍රසාද් බුද්ධික.
දිනය     -  2020.05.21
වේලාව - පෙ .ව.8.00 - පෙ.ව.10.00
................................................................................................

ආයුබෝවන් !

අපි කලින් කතාකලා අපේ ශිල්පීන් ගැන එහි තවත් ශිල්පියෙකු පිළිබඳව අපි බලමු

ස්ටැන්ලි අබෙිසිංහ

 ශ්‍රී ලංකාවේ නූතනවාදී චිත්‍රහා මූර්ති ශිල්පීන් අතර ප්‍රමුඛත්වය දරණ ශිල්පියා ලෙස මොහු හැදින්වීම නිවැරදියි.‍
 ආයතනගත නූතනවාදී චිත්‍ර කලාව ශ්‍රී ලංකාව තුල ආරම්භ කලේ ස්ටැන්ලි අබෙිසිංහ මහතා විසිනි.ඒ හේවුඩ් කලායතනය තුලයි.

ඔහුගේ සිතුවම් කලාව තුල පෝල් සෙසාන් හෙන්ඩ්‍රි මතීස් වැනි යුරෝපීය ශිල්පීන්ගේ ඝනිකවාදී,ප්‍රකාශණවාදී චිත්‍ර වල කලාත්මක උපක්‍රම හා දේශීය සම්ප්‍රදායික කලාවන්ගේ  ලක්ෂණ වල සංකලනයක් ඔහුගේ සිතුවම් තුල දක්නට ලැබුනත් ඔහුගේ නිදහස් කලා චින්තනය ඒ හැම දේටම වඩා ඉස්මතු වී පෙනෙයි.

 සිතුවම් තුල වර්ණ භාවිතය හා හැඟීම් ප්‍රකාශණය ඔහුටම ආවේනිකය.43 කණ්ඩායමෙන් මතු වී ආ ශෛලීන්හා මතවාදයන්ට සමගාමීව රජයේ ලලිත කලායතනය හරහා මතු වී ආ තරමක් නිදහස් හා වෙනස් කලා ආරක පුරෝගාමියා ලෙස මොහු හැඳින්විය හැක.

පිකාසෝගේ චිත්‍ර තුල දක්නට ලැබෙන ලක්ෂණ මෙන්ම ජෝර්ජ් කීට් ගේ සතුවම් වල ලක්ෂණත් මොහුගේ සිතුවම් තුල දක්නට ලැබුනත් කිසි විටෙක ඔවුන් හා සම නොවීම මෙහුගේ ඇති විශේෂත්වයකි.

නිදහසේ සිත්තම් කරනා ඔහුගේ වරණ මාලාවන් ප්‍රසන්නය.

මුල් කාලයේදී රජයේ මෙතුමා චිත්‍ර කලාව හැදෑරීමට එක් වූයේ ලංකා කාර්මික විද්‍යාලයටය.පසුව ලංකා කලා සංගමයේ උප සභාපතිවරයෙකු ලෙස කටයුතු කර ඇත.පසුව ලංකා රජය විසින් පිරිනැමූ ශිෂ්‍යත්වයක් මත බ්‍රිතාන්‍යයේ  ශාන්ත මාටින් ශාස්ත්‍රාලයේ චිත්‍ර ශිල්පය හැදෑරීමට අවස්ථාව උදාකරගෙන ඇත.1949 සිට 1957 දක්වා එහි රැදී සිටිමින් යුරෝපීය කලා ආර පිළිබඳව ප්‍රශස්ත අයුරින් හදාරා පසුව බ්‍රිතාන්‍යයේ රාජකීය කෞතුකාගාරයේ වසරක් සේවය කර ඇත.

මෙතුමා යුරෝපයේ ඉගෙනගත් නමුත් ශස්ත්‍රාලීය කලා ආර අනුගමනය නොකලේය තම සම්ප්‍රදාය ගරු කලේය. මෙම චින්තනය මෙහෙයවමින් විශාල ශිල්පීන් රැසක් බිහිවීමටමෙතුමා මූලාදර්ශයක් විය.

එතුමාගේ නිර්මාණ පිළිබඳව අපි ඊලඟ කොටසින් සාකච්ඡා කරමු.

 සියලුම දෙනාට තෙරුවන් සරණයි!

Tuesday, May 19, 2020

චිත්‍ර කලාව - ආභරණ නිර්මාණය

විෂය -  චිත්‍ර.
පාඩම -  ආභරණ නිර්මාණය.
ගුරු භවතා -ටී.කේ.නුවන් ප්‍රසාද් බුද්ධික.
දිනය     -  2020.05.19
වේලාව - පෙ .ව.8.00 - පෙ.ව.10.00
...........................................................................................

ආයුබෝවන්!

අපි අද චිත්‍ර පාඩමේ තවත් කොටසකට යොමු වෙමු. පසුගිය පාඩම් වලදී අපි ඇඳුම් නිර්මාණය කිරීම,ආභරණ නිර්මාණය කිරීම පිළිබඳව අධ්‍යනය කලා. අද එහි තවත් කොටසක් බලමු.

මිනිසා අලංකාරය වෙනුවෙන් අපූරු නිර්ම⁣ණ කරනවා. ඒ නිර්මාණ සෑම කේෂ්ත්‍රයක් පුරාම විහිද යනවා. අද අපි බලන්නේ රෙදි නිර්මාණය කිරීම පිළිබඳව
රෙදි නිර්මාණයේදී මෝස්තර නිර්මාණය සඳහා ලැබෙන්නේ සුවිශේෂී ස්ථානයකි. එය මූලිකවම ශිල්පියාගේ සිතේ ඇඳෙන නිර්මාණය පිළිබඳ සැලසුම අවසානයේදී මුද්‍රිත රෙදි හෝ වියනු ලබන රෙදි තුලින් එළිදැක්වේ.

රෙදි මත නිර්මාණ කරන ආකාර බොහෝ ඇත. 

1  මුද්‍රණය
2  විවීම
3  බතික් නිර්මාණ
4  අතින් ඇඳීම 

මින් කිහිපයක් ලෙස දැක්වීමට හැක මීට අමතරව තවත් බොහෝ නිර්මාණ ක්‍රම ලොව පුරා ඇත ඇප්ලික් කිරීම පබළු ආදිය මගින් නිර්මාණ කිරීම නූල් මගින් නිර්මාණය මැසීම ආදිය දැක්විය හැක.

අපි දැන් බලමු මුද්‍රණය සඳහා ව්‍යාප්ත නිර්මාණයක් කරන ආකාරය.





මේ සරළ නිර්මාණ කිහිපයක් මෙහි දැක්වෙන්නේ නිර්මාණයේ කොටසක් පමණි මේ 
කොටස සම්පූර්ණ රෙද්ද මත නිර්මාණය වූ විට එය ව්‍යාප්ත මෝස්තරයක් ලෙස හැඳින්විය හැක.
ඇත්තටම මේ ව්‍යාප්ත මෝස්තරයක තිබිය යුතු වැදගත් කරුණු මොනවාද බලමු.
රෙදි මුද්‍රණයේදී නිර්මාණ ශිල්පියා කරනු ලබන නිර්මාණ ඒකකය සැලසුමකට අනුව මුළු රෙද්දක් පුරාම ව්‍යාප්ත කල යුතුය.එහිදී එක් එක් ඒකකය අනෙක හා සබඳතාවක් තිබිය යුතුය.

මම උදාහරණයක් පෙන්වන්නම්.


මේ තිබෙන්නේ එක් ඒකකයක් හොදින් බලන්න එහි සමහර මල් වල කොටස් කැපී ගිය ආකාරයක් දැක්වේ. ඇයි මෙසේ නිර්මාණය කර ඇත්තේ කියා ඊලඟ පින්තූර වලින් ඔබට වැටහීමක් ලබාගත හැකිය.



මේ කොටස් එකිනෙක එක් කිරීමේදී සම්පූර්ණ රූපය නිර්මාණය කරගත හැකිය.
රෙදි මුද්‍රණය කිරීමේදී ස්ක්‍රීන් මුද්‍රණ ක්‍රමය හෙවත් ස්ක්‍රීන් ප්‍රින්ටින් භාවිතා කරයි මේ එක් ඒකකයක් මුද්‍රණ තලයක් ලෙස ගෙන එකින් එක සම්බන්ධ කරමින් මුද්‍රණය කරනු ලබයි.

අපි මීලඟට මෙවැනි නිර්මාණයක් සඳහා යොදන වර්ණ පිළිබඳව අවධානය යොමු කල යුතුය.  වර්ණ යෙදීමෙිදී අප වටහාගත යුතු වැදගත්ම කාරණය තමයි ස්ක්‍රීන් මුද්‍රණයේදී සිදුවන්නේ අච්චුවකින් හෙවත් සිදුරුපතකින් (ස්ටෙන්සිල් )මුද්‍රණය වීමකි එහිදී එක් අවස්ථාවක එක් වරණ කොටසක් මුළු තලය පුරාම මුද්‍රණය වේ අපි පොඩි උදාහරණයක් බලමු.


මෙහි එක් ස්ක්‍රීන් එකකින් කහ වර්ණය අඩංගු සියලුම ස්ථාන මුද්‍රණය වේ ඊලඟ ස්ක්‍රීන් එකෙන් කොල පැහැති කොටස් ද එසේ එකිනෙක වර්ණ වලට අදාල කොටස් නිර්මාණය වේ. අවසානයේ සම්පූර්ණ නිර්මාණය අවසන් වේ
මීට අමතරව නූතන තාක්ෂණික දියුණුව සමඟ වඩාත් දියුණු මුද්‍රණ ක්‍රම අපට හමුවේ උදාහරණයක් ලෙස ඩිජිටල් මුද්‍රණය දැක්විය හැක  එනම් අප නිර්මාණය සඳහා වර්ණ යෙදීමේදී අප මුද්‍රණය කරනුලබන ක්‍රමවේදය පිළිබඳ හොඳ අවබෝධයක් තිබිය යුතුය

මේ කරුණු පිළිබඳව අවධානය යොමු කරමින් අලංකාර රෙද්දක් සඳහා ව්‍යාප්ත මෝස්තරයක්  නිර්මාණය කිරීමට සැලසුමක් ඇඳ වර්ණ ගැන්වීමට අභ්‍යාසයක් ලබා දෙමින් අදට පාඩම මෙතනින් අවසන් කරනවා. අභ්‍යාසය අවසන්කර මා වෙත ලබා දෙන්න.

  සියලුම දෙනාට තෙරුවන් සරණයි!


















Sunday, May 17, 2020

චිත්‍ර කලාව - ආභරණ නිර්මාණය

විෂය -  චිත්‍ර.
පාඩම -  ආභරණ නිර්මාණය.
ගුරු භවතා -ටී.කේ.නුවන් ප්‍රසාද් බුද්ධික.
දිනය     -  2020.05.17
වේලාව - පෙ .ව.8.00 - පෙ.ව.10.00

..........................................................................

ආයුබෝවන්!

අද අපි බලමු පාඩමේ තවත් කොටසක් ආභරණ නිශ්පාදනය පිළිබඳව.

අපි විවිධ අරමුණු වෙනුවෙන් ආභරණ නිර්මාණය කරනුලබනවා.


1  සාමාන්‍ය ජීවිතයේදී විලාසිතාවක් ලෙස
2  මංලග අවස්ථා 
3  රාජකීයන් පැළඳි රාජාභරණ 
4  අභිචාරී අවස්ථා වෙනුවෙන් භාවිතාකල ආභරණ
5  නර්තනාභරණ
6  රංගනය වෙනුවෙන් නිර්මාණය කරන රංගාභරණ 

මේ ආදී නොයෙක් අවස්ථා වෙනුවෙන් මිනිසා ආභරණ නිර්මාණය කර තිබෙනවා.මීට අමතරව මරණින් පසු ඊලඟ ආත්මය වෙනුවන් පවා ආභරණ නිර්මාණය කල බව පිරමීඩ තුලින් හමුවූ මමි වලට පැළඳි ආභරණ වලින් හඳුනාගත හැක.
අපි බලමු මේ ආභරණ නිශ්පාදනය සඳහා භාවිතා කල හැකි අමුද්‍රව්‍ය කිහිපයක් පිළිබඳව  කෙටියෙන්

1   රත්තරන් 
2   රීදී 
3   පිත්තල 
4   විවිධ මිශ්‍ර ලෝහ
5   මැණික් 
6   දියමන්ති
8   විවිධ පාෂාණ කොටස්
9   දැව
10  සත්ත්ව අස්ථි,සම්,දත්  ආදිය
11   විවිධ පල්ප් වර්ග
12   විවිධ ⁣ශාක කෙඳි වර්ග
13   පොල් කටු
14  රෙදි,නූල් ආදීය
15  පිලිස්සූ මැටි

     මේ අනුව බලන කල අපිට ආභරණ නිපදවීමට බොහෝ අමුද්‍රව්‍ය භාවිතා කල හැකි බව තේරුම් ගත හැක.
තවද ආභරණ පැළඳීම තුලින් විශ්වයේ ආශිර්වාදය තමන්ට ලැබෙන බව බොහෝ දෙනා විශ්වාස කරයි. මේ නිසා විවිධ මැණික් වර්ග බොහෝ විට ආභරණ සඳහා භාවිතා කරයි.

මා මුලින් ඔබට යෝජනා කල පරිදි අභ්‍යාසය ඔබ විසින් කල යුතුයි.
   උදාහරණයක් ලෙස මා මෙහිදී වේදිකා නාට්‍යක් වෙනුවෙන් ආභරණ නිර්මාණය කිරීම පිළිබඳව කරුණු  දක්වන්නම්.
 වෙිදිකා නාට්‍ය අාභරණ සඳහා  බොහෝ විට භාවිතා කරන්නේ  සැහැල්ලු අමුද්‍රව්‍ය කිහිපයක් 

1  කඩදාසි පල්ප්
2  ලී කුඩු පල්ප්
3  සැහැල්ලු ලෝහ තහඩු
4  රෙදි
5  රබර් ෂීට් 
6  විවිධ දිලිසෙන ද්‍රව්‍ය (දිලිසෙන කුඩු,දිලිසෙන පබළු,දිලිසෙන තීන්ත වර්ග. ආදිය)





මෙම උදාහරණ දෙස බලන්න මෙ⁣ම ආභරණ අලංකාරවිය යුතු අතර සැහැල්ලුද විය යුතු අනෙක් කාරණය මෙම ආභරණ ශිල්පියාට පහසුවෙන් පැළඳ තම රංගනය කිරීමේ හැකියාව තිබිය යුතුය. මෙම කාරණා හේතුවෙන් මේ වන විට සැහැල්ලු අමුද්‍රව්‍ය බොහොමයක් බිහිවී ඇත.
මේ කරුණු සැලකිල්ලට ගනිමින්  ඔබට ලබාදුන් අභ්‍යාසය නිම කරන්න. අපි ඊලඟට අලුත් පාඩමකින් හමුවෙමු. 

සියලුම දෙනාට තෙරුවන් සරණයි!